අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා යන ග්‍රහයන් අට දෙනෙක් ඉන්නවා. ඒවා නම් සූර්යයාගේ සිට පිළිවෙළින් බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් අට දෙනයි. කලින් නවයක් හිටියා. ඒ නෙප්චූන්ට එහායින් පිහිටි ප්ලූටෝත් එක්කයි. දැන් තාරකා විද්‍යාඥයන් ප්ලූටෝ ග්‍රහ තත්වයෙන් ඉවත් කරලා ක්ෂුද්‍ර ග්‍රහයකු ලෙස නම් කරලා තියෙනවා. ඒ වෙනුවට විද්‍යාඥයන් දැන් කියනවා තවත් ග්‍රහයකු සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් ඉන්නා බව. ඒ නව වැනි ග්‍රහයා ඔවුන් නම් කර ඇත්තේ ‘ප්ලැනට් එක්ස්’ කියලයි. ඒත් ඒ ග්‍රහයා තාමත් කිසි කෙනෙක් දැකලා නැහැ. මෙතෙක් උඩුගුවනට යැවුණු කිසිම යානයකින් නිරීක්ෂණය කරලත් නෑ. ඒත් සෞරග්‍රහ මණ්ඩලයේ ඉමේ මේ ග්‍රහයා ඉන්න බව ඔවුන් දැඩිව විශ්වාස කරනවා.
දැන් අලුත්ම අධ්‍යයනයකින් යෝජනා කරලා තියෙනවා, මේ සැඟවුණු අමුත්තා සොයා ගන්නට නව ක්‍රමයක්. ඒ අනුව මේ ග්‍රහයා වටේ යතැයි විශ්වාස කරන චන්ද්‍රයන් 20 සොයා ගන්නයි යෝජනා කරන්නේ. ඒ චන්ද්‍රයන් 20 තාපාධික චන්ද්‍රයන් වන නිසා සොයා ගැනීම පහසු වේවි කියලයි, ඔවුන් කියන්නේ.
තාරකා විද්‍යාඥයන් විසින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ සැඟවුණු 9 වැනි ග්‍රහයකු ඇතැයි ප්‍රබල සාක්ෂි සොයා ගෙන දැන් වසර හයක් විතර වෙනවා. න්‍යායාත්මක කර ඇති මෙම සොයා ගැනීම තවමත් සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහිනයක්.
විශේෂඥයන් කියන්නේ මේ ගුප්ත ග්‍රහයා වටා කැරකෙන චන්ද්‍රයන් අතරින් එකකු පළලින් සාමාන්‍යයෙන් කි.මී. 100ක් (සැතැපුම් 62ක්) පමණ වෙතැයි කියායි. මේ චන්ද්‍රයන් ඒ ග්‍රහයා ගේ ගුරුත්වාකර්ෂණය නිසා ඇති වන තාප උදම් යන සංසිද්ධියෙන් ඇති වන සුපිරි තාප තත්වය නිසා ඒවා හඳුනා ගැනීම පහසු වනු ඇතැයි ඔවුන් කියනවා.
ඒ ගුප්ත ග්‍රහයා සූර්යයාගෙන් බොහෝ ඈත පිහිටා ඇති නිසා නිසි ලෙස හිරු එළිිිිය පරාවර්තනය කිරීමක් සිදු නොවන නිසා අපට දැක ගැනීමට හැකියාවක් නැහැ. ඒත් ගණිතමය ආකෘතියකින් පෙන්වා දී තියෙනවා, විශාල ග්‍රහ වස්තුවකට දුර පිහිටි කුයිපර් පටියේ ඇති කුඩා ග්‍රහක වස්තූන් පහක්වත් ආකර්ෂණය කර කක්ෂවලට ගත හැකි බව.
මේ ග්‍රහයා සැබෑවක් බව 2015 වසරේ සිටම විශ්වාස කරන සමහර තාරකා විද්‍යාඥයන් ඉන්නවා. ඇමරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තාරකා විද්‍යාඥයන් වන කොන්ස්ටන්ටින් බැටිජින් හා මයික් බ්‍රවුන් එවැනි විශ්වාසයකින් සිටි විද්‍යාඥයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාත් න්‍යායාත්මකව ප්‍රබල සාක්ෂි හෙළිදරවු කර ගන්නට සමත් වී තියෙනවා, ඒ ග්‍රහයා නේප්චුන් ග්‍රහයාගේ කක්ෂයට එපිටින් මුවා වී සිටිය හැකි බව.
ඒක ඇත්ත නම් තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ඒ ග්‍රහයා පෘථිවිය මෙන් 10 ගුණයක් විශාල ස්කන්ධයක් ඇති එකක් කියලයි. ඒ වගේම ඒ ග්‍රහයාට සුර්යයා වටා එක් කක්ෂයක් සම්පූර්ණ කරන්න වසර 10,000 -20,000 අතර කාලයක් ගත වෙනවා කියලයි තාරකා විද්‍යාඥයන් හිතන්නේ.
මේ නව වැනි ග්‍රහයා ගැන මෙතරම් ආකර්ෂණීය තොරතුරු ඇතත් කිසිම තාරකා විද්‍යාඥයකු සමත්වෙලා නැහැ, තවමත් ඒක දැක ගන්න. ඒක තමාත් න්‍යායක් හැටියටයි පවතින්නේ.
හොංකොං අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ මැන් හෝ චෑන් විශ්වාස කරනවා, ඒ ග්‍රහයා හඳුනා ගන්න ක්‍රම කීපයක් ඇති බව. හොඳම ක්‍රමය රැඳී ඇත්තේ ඊට උපකාර කර ගත හැක්කේ එහි චන්ද්‍රයන් මත බවයි. ඔහු තමයි ගණනය කළේ ඒ ග්‍රහයා වටා කක්ෂ ගත විය හැකි චන්ද්‍රයන් මෙසේ විය යුතුයි කියා. නෙප්චූන් ග්‍රහයාට ඔබ්බෙන් පිහිටි ග්‍රහක අතුරින් නව වැනි ග්‍රහයාගේ ආකර්ෂණයට හසු විය හැකි ඒවා මේවා යැයි තෝරා ගෙන 20ක් තිබිය යුතු යයි යන න්‍යාය ඉදිරිපත් කළේ ඔහුයි. ඒ තෝරා ගැනීම කළේ තාප උදම් යන සංසිද්ධිය උපයෝගී කර ගෙනයි.
අපට ආසන්න ග්‍රහයකු වූ බෘහස්පතිගේ චන්ද්‍රයන් තුළින් ද තාප උදම් යන සංසිද්ධිය දකින්න ලැබුණු බව නිදසුනක් වශයෙන් දක්වනවා . එයින් පෙනී ගියා සමහර හිමෙන් වැසුණු චන්ද්‍රයන් ඇතුළත උණුසුම් වීම නිසා මතුපිට දියර ජලය සහිත සාගර ඇති වන බව. බෘහස්පතිගේ ඉයෝ චන්ද්‍රයා පාෂාණමය වස්තුවක් වුවද තාප උදම් සංසිද්ධිය හේතුවෙන් එහි පාෂාණ උණු වී මැග්මා ඇති වී තියෙනවා.
තාප උදම් යන සංසිද්ධිය නිසා න්‍යායානුකූලව නව වැනි ග්‍රහයාගේ ඕනැම චන්ද්‍රයකු ගේ උෂ්ණත්වය සෙල්සියස් -173 ට (ෆැරන්හයිට් -280ට) නැංවිය හැකියි. මෙය උණුසුම් වීමක් ලෙස නොපෙනුනත්, විශ්වයේ ශූන්‍ය අවකාශය තුළ උෂ්ණත්වය සෙල්සියස් -271 (ෆැරන්හයිට් -455) සමග සසඳන විට මෙය ලොකු උණුසුම් වීමක් ලෙස සැලකිය හැකියි.
චෑන් කියන්නේ නව වැනි ග්‍රහයාගේ ඕනැම චන්ද්‍රයකු අපේක්ෂා කරන තරම් උණුසුම් නොවූවත් ඒවාට දුර්වල ගුවන්විදුලි සංඥා නිකුත් කළ හැකි නිසා ඒ සංඥා හසුකර ගැනීමට දුරේක්ෂවලට හැකියාව ඇති බවයි. කුයිපර් පටියේ ඇති කුඩා ග්‍රහක ඇදී ගොස් අනුමාන කරන නව වැනි ග්‍රහයා වටා යන්නේ නම් ඔවුන්ගේ පිහිටීම අනුව ඒ ග්‍රහයා ඉන්නා තැන සොයා ගත හැකි බවයි, චෑන් කියන්නේ.
- පර්සි ජයමාන්න
0 Comments